
“ද බ්ලිට්ස්” ( The Blitz) – ඡායාරූපය / අනුරුද්ධ ලොකුහපුආරච්චි
ඉහත ඡායාරූපය පිළිබඳ ස්වයංකථණය – අනුරුද්ධ ලොකුහපුආරච්චි
මා ජීවත් වන බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේ දී ගත් මෙම ඡායාරූපය වීදි ඡායාරූප ශිල්පියෙකු ගැලපෙන ස්ථානයක වඩාත් ගැලපෙන මොහොතක අහමිබෙන් සිටීමෙි වාසනාවට හොඳම උදාහරණයකි. වාසනාව ලෙස මා මෙහිදී හඳුන්වන්නේ පරිකල්පණයයි. අහම්බෙන් මුහුණ දෙන සිදුවීමක් ඓතිහාසික වටිනාකමක් සහිතව ඡායාරූප ගත කරන්නට පරිකල්පණය අවශ්‍ය වේ. ශිල්පියාගේ පරිකල්පණය විසින් රූපය අරුත් ගන්වයි, නරඹන්නාගේ චින්තනය අවධිකරවයි. සංකල්පීය පසුබිමක් නැති ඡායාරූපයන්හි නිර්මාණකරුවාගේ ප්රකාශණයක් නැත. තම නිර්මාණය පිළිබඳ කතා කරන්නට දෙයක් නිර්මාණකරුවා තුල නැති වීම එදිනෙදා අප දකින බොහෝ ඡායාරූප පිළිබඳ ඇති ගැටළුවයි. වචන නොමැති වුවත් ඡායාරූපයක් ඇතැම් විට වචන දහස්ගානක ප්රකාශණයක් බව සත්‍යයකි. එහෙත් ඒ ඡායාරූපය පිටුපස ශිල්පියාට පමණක් උරුමව තිබියහැකි තවත් කතාවක් තිබිය හැක. මක්නිසාද යත්, නිර්මාණයක් තුල ඇත්තේ නිර්මාණකරුවාගේ ජීවිතය මිරිකා පෙරා හරින ලද ඔහුගේ ආත්මකථණය වන හෙයිනි.
මෙම ඡායාරූපය ගත් දින මම ලිවර්පූල් නගරයේ මර්මස්ථාණය වන නැවි තටාකාංගණය අවට වීදි ඡායාරූප ගනිමින් සිටියෙමි. මගේ අරමුණ වූවේ නගරයේ ඇති ස්මාරක එතෙක් කිසිවෙකු ඡායාරූපගත කර නොතිබූ අර්ථකථණයක් සහිතව ඡායාරූප ගත කිරීමය. ඒ සඳහා මා සූදානම් වූවේ එකම දර්ශණපථයක සිදුවීම් දහයක් අවස්ථා දහයකදි එකම රූප රාමුවක් තුල අනාවරණය කිරීමේ තාක්ෂණික උපක්‍රමය වේ. සෙවනැළි රහිත පැතලි ආලෝකයක් සහිත එවැනි දිනයක නාට්‍යමය ගුණයක් සහිත චායාරූප ගැනීම ඡායාරූප ශිල්පියෙකුට තරමක අභියෝගයකි. එම අභියෝග අතික්‍රමණය කිරීමට ඇතැම් විට ඡායාරූප ශිල්පීන් වන අප යොදාගන්නා නොයෙකුත් තාක්ෂණික උපක්‍රම අතර කැමරාවේ සාමාන්‍යයෙන් භාවිතා නොකරන තාක්ෂණික පහසුකම්ද වේ.
අදාල ප්‍රදේශයට යනවිට නගරයේ අනිත් කෙළවරේ ගොඩනැගිල්ලක් ගිනි ගැනීමෙන් නැගුණු දුමාරය මම දුටුවෙමි. මට එහිදී ලිවර්පූල් නගරය දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ ලුෆ්ට්වාෆේ ගුවන් ප්රහාරයන්ට ලක්වූ සිදුවීම පිළිබඳ අසා ඇති කතා සිහිපත් විය. එම දුමාරය විසින් ඒ ඉතිහාස ගත සිදුවීම ප්රථිනිර්මාණය කරන අයුරෙන් වූ ඡායාරූපයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අදහසක් මගේ හිතට ගෙන ආවේය. මා ඒ වන විට සිටියේද ලිවර්පූල් බ්ලිට්ස් (Tha Blitz, යනුවෙන් හඳුන්වන්නේ 1940-1941 කාලය තුල දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයට එල්ල වූ ජර්මන් ගුවන් හමුදා ප්‍රහාර මාලාවයි) ස්මාරකය ආසන්නයේය.
එක්සත් රාජධානියේ බොහෝ ස්මාරක නිර්මාණය කර ඇත්තේ ගැටුම් හේතුවෙන් මියගිය පිරිස් හෝ සටන් කළ අයගේ සේවය සැමරීමට හෝ මිලිටරි මතකයන් තබා ගැනීම සඳහා ප්‍රජාවන් විසිනි. දෙවන ලෝක යුද්ධයේදී සිවිල් වැසියන් අසීමිත පීඩාවකට පත් වූ අතර මියගිය සිවිල් වැසියන් සිහිපත් කරන ස්මාරක ද බොහෝ ඇත.
මෙම ඡායාරූපයේ කේන්ද්‍රගත ස්මාරකය පිහිටා ඇත්තේ ලිවර්පූල් නගරයේ මර්සි ගංගාවේ වරාය ඉදිරිපිට පිහිටි සාන්ත ලූකස් දෙව් මැදුරු භූමියේය. ලෝකඩ වලින් නිමා කර ඇති පුථිමාව පඩි පෙලක් උඩ ගුවන් යානයක් සමග සෙල්ලම් කරන කුඩා දරුවෙකුත් , දරුවාව පහලට අදින තවත් දරුවෙකු රැගත් මවකුත් නිරූපණය කරයි. එහි අදහස ජර්මන් ගුවන් යානා වලින් දමන බෝම්බ වලින් බේරීම සඳහා පොලොව යට ඇති ආරක්ෂිත බංකරයට තම දරුවන් රැගෙන යාමට මව දරන උත්සාහයයි.
මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් ගුවන් හමුදාවේ “හයින්කල් හෙ 111” බෝම්බ ප්‍රහාරක යානා විසින් එල්ල කල 2000 ක් පමණ වන බෝම්බ ප්රහාරයන් වලට හසුව මියගිය 1741ක් වන සිවිල් ජනතාව සිහිපත් කරයි. එයින් 409ක් මිය ගොස් ඇත්තේ මා දැන් ජීවත්වන බූට්ල් අවට ප්රදේශයේය.
ඡායාරූපයේ මැද ඇති ස්මාරකයට වමි පැත්තේ ඇත්තේ සාන්ත ලූකස් දෙව් මැදුරේ කොටසක් වන අතර දකුණු පස දිස්වන්නේ අළුත් වැඩියා කරමින් පවතින ගොඩනැගිල්ලකි. රූප රාමුව සැකසීමේදි දෙව්මැදුරේ ඇලවුනු ස්වරූපයත් දකුණු පස අළුත්වැඩියා කරමින් තිබූ ගොඩනැගිල්ලේ පලංචි සහිත හැඩතලයත් විනාශයක නශ්ඨාවශේෂ ස්වරූපයක් රූපයට එක් කිරීමට මා උපයෝගී කර ගත්තෙමි. එයින් මැද ඇති ස්මාරකය දෙසට නරඹන්නාගේ ඇස් ගෙනයාමටත් ඒ තුලින් කුඩා ස්මාරකයෙන් සංකේතවත් කරන අදහස වඩා උද්දීපණය කරන්නටත් මා උත්සාහ කළෙමි. පසුබිමේ දුමාරය විසින් වසර අසූවකට පෙර ඒ වූ ඒ ත්‍රාසය ඡායාරූපය තුල ජනිත කරවන අතර අහසේ අඳුරු බව විසින් ඒ සිදුවීමේ සෝචනීය බව සිත තුල තැන්පත් කරවයි.
මෙම ඡායාරූපය වර්ගීකරණය කරනවා නම් වඩා ආසන්න වන්නේ ප්රතිනිර්මාණාත්මක ඡායාරූපකරණයට කිවහොත් වඩා නිවැරිදිය. එනම් ඉතිහාසයේ සිදුවූ සිදුවීමක් මෙසේ සිදුවන්නට ඇතැයි පරිකල්පණය කර සකස් කරනු ලබන ඡායාරූප. තාක්ෂණිකව ගත් විට මෙම ඡායාරූපය අලෝකයට විරුද්ධ පස සිට ලබාගත් පොදුවේ “සිල්හුට්” යනුවෙන් හඳුන්වනු ලබන්නකි. සාමාන්‍ය “සිල්හුට්” ඡායාරූප ගන්නා පරිදි කැමරාවේ අනාවරණ යාන්ත්‍රණය පසුබිම් අහසේ දීප්තිමත්ම පෙදෙසට ගැලපෙන ලෙස හැසිරවීමෙන් කැමරාවට ආසන්නයේ ඇති වස්තූන් අඳුර මත ඇතිකරන හැඩතල වඩා කැපී පෙනේ. නමුත් මෙහිදී “සිල්හුට්” ක්‍රමය භාවිතා කිරීමට මට වඩාත් ප්‍රභල හේතුවක් තිබුණි. එනම් දකුණු පස ගොඩනැගිල්ලේ ඇති නවීණ පෙනුම ඡායාරූපය තුල සැඟවීමයි. වම් පස ඇති පල්ලියේ ස්වරූපය තවමත් එදා මෙන් වුවත් දකුණු පස ඇති ගොඩනැගිල්ලේ නවීණත්වය ඡායාරූපය තුල දිස්වීමෙන් රූපයෙන් මා ඉදිරිපත් කරන අදහසට බාදා වන බව මගේ විශ්වාසය විය. එම නිසා වඩා සුදුසු තාක්ෂණික උපක්‍රමය “සිල්හුට්” බව ඔබ එකඟ වනවා ඇත. ඡායාරූපය ගැනීමේදී කැමරා කෝණය සකස් කර බැලුවද පසුබිමේ දුමාරය නිශ්චිතවම මට අවශ්‍ය ස්ථාණයේ නොවීය. එම නිසා සුළඟ විසින් දුමාරය මට අවශ්‍ය දිසාව, හැඩතලය සහ ස්ථාණයට ගෙනෙන තුරු කැමරාව ඇසේ තබාගෙන බලා සිටියෙමි. එම උත්සාහයේ අවසාන ප්‍රථිපලය වන මෙම ඡායාරූපය, මීට වසර අසූවකට පෙර දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ හමුදාව ගුවනින් එල්ලකල බෝම්බ ප්‍රාහාර ලිවර්පූල් වැසියන්ගේ මතකයට ගෙන එන බව නිසැකය.
Leave a Reply