
ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කණ්ඩායම පාවිච්චි කළ බොරු මේ මහ මැතිවරණයේදී අතේ පත්තු වෙමින් තිබෙනබව කියන ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති, “ජනාධිපතිවරණයේදී හදපු මතය තමයි පැවති පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් එක්ක රට හදන්න බෑ, ඒක කරන්න පුළුවන් ගෝඨාභය මහත්තයට විතරයි කියලා. ගෝඨාභය මහත්තයා ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති එකම තමයි සුදුසුකම කියලා පෙන්නුවා පසුගිය ජනාධිපතිවරණයේදී” යයි වැඩි දුරටත් පැවසුවේ අද මාතරදී පැවති පුවත් පත් සාකඡ්චාවකදීය
එහිදී රජපක්ෂලාගේ දේශපාලන නිරුවතේ කඩතුරාව එකින් එක හෙලි කලේය, ‘ජනාධිපතිවරණයේදී කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා රට හදන්න බලය දෙන්න කියලා. ඒකට මෙතෙක් දේශපාලනය කළ පාර්ලිමේන්තුවේ ඉන්න අය සුදුසු නැති නිසා පාර්ලිමේන්තුවේ සිටිය නැති කෙනෙක් ජනාධිපති කළොත් සුදුසු බවයි ජනතාවට කිව්වේ. ඒත් මේ මැතිවරණයේදී කියනවා ගෝඨාභය මහත්තයට තනියෙන් මේ වැඬේ කරන්න බෑ, ඒ නිසා ඔහු සමඟ අර අලි බබා සහ හොරු හතලිහ වගේ පරණ හොරු ටිකටම බලය දෙන්න කියලා. කලින් කිව්වේ මේ ගොල්ලොත් එක්ක බැහැ ගෝඨාභයට තනියෙන් රට හදන්න දෙන්න කියලා. දැන් කියනව ඒකෙ අනෙක් පැත්ත. 2/3ක බලයක් ඕනෑ කියල දැන් කියනවා. අපූරු තර්ක හදනවා. ජනාධිපතිවරණයේදී කිව්වේ ගෝඨාභය දිනපු ගමන් එම්.සී.සී. ගිවිසුම ඉරල විසිකරනව කියලා. ඒක අහෝසි කරන්න ගෝඨාභයට විතරයි පුළුවන් ඒ නිසා ඡන්දය දෙන්න කිව්වා. දැන් කියනවා ඒක කරන්න 2/3නැතිව බැහැ පරණ සෙට් එකට ඡන්දය දෙන්න කියලා. මේ රටේ ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලයට එන්න පාවිච්චි කළේ මේ වගේ බොරුවම තමයි. දැන් බොරුවට එරෙහිවත් බොරුව පාවිච්චි කරනවා”.
“ජනාධිපතිවරණයේදී කිව්වේ මහ බැංකු හොරු අල්ලල දඬුවම් දෙන්න පුළුවන් ගෝඨාභයට විතරයි කියලා. ඒ නිසා බලය දෙන්න කිව්වා. දැන් ඒ ගැන කතාවක් නැහැ. වගේ වගක් නැහැ. නාස්තිය දූෂණය නතර කිරීමේ කතා නැහැ. ඒ ඔක්කොම යට ගිහිල්ලා. දැන් ටොප් ටෙන් කට්ටිය හොයාගන්නවත් නැහැ. දැන් 2/3 හදාගන්න හොරුත් ඒකකම එකතු වෙන්න සිද්ධවෙලා. ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලය ගත්තෙත් එය පවත්වාගෙන ගියෙත් ඔයවගේ බොරුවලින්ම තමයි. දැන් කොරෝනා වසංගතයත් පාවිච්චි කරමින් මේ ආණ්ඩුව බොරුව සහ වංචාව ජනගත කරමින් ඉන්නවා. වෙලාවකට කියනවා, දැන් කොරෝනා අවදානම අවසන්. ගෝඨාභය මහත්තයා එය ජයග්‍රහණය කළා කියලා. අවසන් නොකළ කාරණා ගණනාවක් තිබෙනවා. ඒවා දැන් මැතිවරණ වේදිකාවේ මාතෘකා ලෙස කතා කරනවා.”
“අද(30) ජනාධිපතිවරයා උපකාරක පංති ගුරුවරු මුණ ගැහෙනවා. ඒවගේම දිස්ත්‍රික්ක මට්ටමේ පොදුජන පෙරමුණු අපේක්ෂකයෝ ඔක්කොම උපකාරක ගුරුවරුන් කැඳවනවා. ඒ හරහා එම ගුරුවරුන්ගේ ඒ වගේම මවුපියන්ගේ ඡන්ද ටික ඩැහැගන්න හදනවා. සිසුන් 500 දක්වා උගන්වන්න ඉඩ දෙනවා කියලා කියනවා. ඡන්දෙ බලාගෙන නෙවෙයිද මේව කරන්නේ. ඊළඟට පෙර පාසැල් ගුරුවරුත් ජනාධිපති මන්දිරයට කැඳවයි. ඒකත් ඡන්දයට පාවිච්චි කරයි. මේ විවෘත කිරීම් කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අරගෙනද? මේ ඔක්කොටම කලින් උසස් පෙළ විභාගය තියන්නේ කවදද කියලා කියන්න ඕන නේද? මේ ප්රශ්නය ළමයින්ට විතරක් නොවෙයි මවුපියන්ටත් මානසික වදයක්. ඔය කියන විදිහට කොරෝනා වසංගතය ඉවර නම් ගුවන් තොටුපොළත් අරින්න ඕනෑ. කරන වැඩවල කිසිම සැලැස්මක් නැහැ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ එන්න විදිහක් නැතිව දුක්විඳිනවා. මේ සියල්ල මැද්දේ කොරොනා වසංගතය විකුණමින් දැන් ඡන්දයට ලැහැස්ති වෙනවා. කොරෝනා වසංගතය සමඟ ජනතාවගේ දේශප්‍රේමය ආගමික භක්තිය මේ සියල්ල මැතිවයේදී ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා”.
ජනතා මුදල් කෝටි ගණන් යොදලා වාහන ගත්තු සමහර දේශපාලුවෝ දැන් ජනතාව රවට්ටන්න කෝච්චියේ යන්න පටන් අරන්. ත්‍රීවීල් එකේ යන්න පටන් අරන්. සමහරුන්ට මහ පාර මතක් වෙලා. මේ බොරුව හෙලි කරලා සත්‍ය කියා දීලා මැතිවරණ ව්‍යාපාරයේ නියැළෙන එක තමයි මාලිමාවේ අපේ වගකීම. මේ බොරුවට හොරකටම ඇත්තටම එරෙහි වන කණ්ඩායම තමයි අපි. රටට ආදරය කරන ජනතාව කරන්න ඕනෑ පාර්ලිමේන්තුව තුළ අපේ කණ්ඩායම ශක්තිමත් කරන එක. අපි හැමදාමත් සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්නවා. නාස්තියට, දූෂණයට එරෙහිව සත්‍ය ලෙසම සටන් වදින්නේ අපි. ඒ වගේම මේ රටේ හැම ආණ්ඩුවකම බොරුව නොපැකිළව හෙළි කරපු මන්ත්‍රි කණ්ඩායමත් අපි.
මාලිමාව නියෝජනය කරන උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයින් කලාකරුවන්, ඇතුළු සියලු දෙනා මේ මහ පොළොවේ ජනතාවත් එක්ක දිගටම වැඩ කරන අය. රඟපාන්න දවසකට දෙකකට කෝච්චිවල බස්වල යන මිනිස්සු නොවෙයි අපි. මේ රැවටීමට අපි තිත තියමු. නැත්නම් අපිට කවදාවත් ගැලවීමක් නැහැ. දැළේ බැන්ද ගොණා වගේ මේ එකම ගමන අපි නැවත නැවත යා යුතුද?
සත්‍ය දකින ජනතාව අපිව දිනවන බව අපිට විශ්වාසයි. අපි දෙන පණිවුඩය පිළිගන්නා ඔබ තවත් පිරිසකට එය රැගෙන යන්න. මාලිමාව දිනවලා රට දිනවන ජනතාව දිනවන ඒ මහා පෙරළියේ කොටස්කරුවන් බවට පත්වෙන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටින්නේ, බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය හරියටම ක්‍රියාත්මක වුණානම් අද මේ පිල් දෙකේ එකසිය ගානකට ඡන්දය ඉල්ලන්න හම්බ වෙන්නේ නැති බවත්, මේ වංචාවලට එරෙහිව අවසන් නොවන අරගලයක් අපට තියෙන බවත්.
Leave a Reply