
සමාජය පුරා මුල් බැස ගත් කුහකත්වයත් ම්ලේච්ඡත්වයත් සමාජගත කල කහ රෙද්දකින් වසා තිබනත් ඔද්ධල් වූ සමාජ දේහයේ කුණු සාරය ඒ රෙද්ද අස්සෙන් වැක්කෙරෙනු පෙනේ. පොල් විසි කරන්නාක් මෙන් ගැහැණුන් උස්සා විසිකරණ පොලිසියකුයි ප්‍රසිද්ධියේ මහ පාරේ මිනිසුන් පොලු වලින් ගසා මරා දැමීමට ධෛර්ය දෙන නීති පද්ධතියකුයි අපට පෙන්වන්නේ ඒ ගලන කුණු සාරය නොවෙයිද ? “
අපේ ජීවිත කාලය තුල අප තුන්වරක් අපේම සමාජයේ තරුණ කොටස් සමූල ඝාතනය කරනු බලා සිටියෙමු. ඉන් පලමු වැන්න 1971 දීත්, දෙවැන්න 1987-1990 සහ තුන් වැන්න 1983-2009 සිදු විය. නිල ප්‍රකාශ වලට අනුව 71දි ඝාතනය වූ සංඛ්‍යාව 1200 ක් වුවත් රජය ස්ථිර නොකල මරා දැමූ සංඛ්‍යාව 5000 ක් පමණ වේ.
මිලිටරි විකියා සංවිධානය වාර්ථා කරන්නේ මධ්‍යස්ථ යුරෝපීය නිරීක්ෂකයන්ගේ සංඛ්‍යා ලෙඛණ වලට අනුව 1983-1990 කාලය තුල ජනතා විමුක්ති පෙරමුනේ කැරළි කරුවන් අතින් දේශපාකයන්, විද්වතුන්, පූජකයින්, රජයේ නිළධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළුව 206 දෙනෙකු ඝාතනයට ලක් වී ඇති අතර ඒ කාලය තුල එවකට සිටි රජයේ ප්‍රතිචාරය වූවේ නීත්‍යානුකූල හමුදා කණ්ඩායම් සහ රහසිගත ඝාතක කණ්ඩායම් ලවා 60,000 තරුණයන් මරා දැමීම බවයි. එම ගණනට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට යොමු වූ පැම්ණිලි වල නම් සඳහන් කල අතුරුදහන් වූ 20,000 ක වූ සංඛ්‍යාව අයත් නෙවේ. අවුරුදු විසිපහක් පුරා ඇදීගිය දෙමළ ජනතා සංනද්ධ අරගලය තුල 80,000 – 10,0000 අතර ජනතාවක් ඝාතනයට ලක් වූ අතර ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව යුද්ධයේ අවසාන අදියරයේදී මිය ගිය ගණන 40,000 ක් වන මුත් අනිත් ස්වාධීන වාර්තාවලට අනුව එම සංඛ්‍යාව 100,000 ඉක්මවා යයි.
ඉහත සඳහන් කරුණු වලට අනුව අවසානයේ බලන විට අපේ පරම්පරාව, පසු ගිය දශක පහ පුරා අවම වශයෙන් දෙලක්ෂය ඉක්මවන වන අපේම ජනතාව ඝාතනය කරනු බලා සිටියෙමු.ඒ ඝාතනය වූ පිරිස අතර ඇතැමි විට වර්තමාණ සමාජයට වැඩ දායක පිරිස් හෝ පලදායී නාකයන් සිටින්නට ඇති. කෙසේ හෝ සමහර විට එයින් සිවිල් සමාජයේ ඇති වූ හිඩසේ පුතිපල විය හැක අප තවමත් විඳිනුයේ. එතරම් පිරිසක් ජීවිත පරිත්‍යාග කල පසුවද දශක පහක් පුරාම හරි හමන් පාලකයො පිරිසක් සොයා ගන්න බැරි වුන සිවිල් සමාජයක් මගේ මාතෘ භූමියේ ඉතිරි වීම පිළිබඳව ඒ පරම්පරාවේම සාමජිකයෙකු ලෙස මා තුල ඇත්තේ මා ගැනම වූ කළකිරීමක් සහ කෝපයකි. පුද්ගලික අපි හැමෝම මේ සමාජ දේශපාලන අගතියට අඩු වැඩි වශයෙන් වගකිව යුත්තෝ වෙමු.
මිලේච්ඡත්වයත්, බොරුවත්, ආගමික සහ ජාතිකත්වය පිළිබඳ උම්මාදයත් සමාජය මත ස්ථාන ගත කරමින් ජනතා මානසිකත්වය මත අරාජිකත්වය ආරෝපණය කිරීම තුලින් පසු ගිය දසක පහක කාලය තුල කිණිතුල්ලන් මෙන් සමාජ සාරධර්ම සහ වටිනාකමි උරාගනිමින් රටේ සියළු සම්පත් විනාස කරනු අප බලා සිටියෙමු. ඉඳහිට එයට එරෙහිවන එකෙකුට හෝ වෙනස් ලෙස සිතන එකෙකු හසු වුවහොත් පාලකයාටත් පෙර අපම වචන වලින් ගසා ඌව නැති කර දැමුවෙමු, නැතිනම් රටෙනුත් එලවා දැමුවේ හරියට පැරණි යුරෝපය තුල වෙනස් මත දැරූවන් මන්තර කරුවන් ලෙස සලකා පණ පිටින් පුච්චා මරා දමනවා මෙනි.
අතීත රාජ්‍ය තුල කුල වශයෙන් සහ පලාත් බද ලෙස බෙදී සිටි ලාංකීය සමාජය නූතන රාජ්‍ය විසින් ජාතිකත්ව, ආගමික විශ්වාසයන් සහ දේශපාලන මතවාදයන් මත බෙදා වෙන් කර අවසානයේ එය පහලට ගලා විත් පාසල් වශයෙනුත් බෙදා වෙන්වී සිටිමු. ඒ බෙදනු ලැබූ සමාජයක් තුල පාලකයන් විසින් තමාගේ පැවැත්ම සුරක්ෂිත කර ගත් අතර ඔවුන්ට තමාත් තම පවුලේ නෑදෑ හිතවතුනුත් මිත්රයනුත් හැරුනු විට රටේ සෙසූ ජනයා දුහුවිළි පිඬක් මෙන් විය.
සකළ ලෝකවාසී සියළු සත්වයාගේ කරුණාව වෙනුවෙන් බුදුන් වහන්සේ දේශනා කල ධර්මය තමන්ගේ කර ගත් පාලකයන් විසින් හිස මුඩුකොට කසාවතක් ඇන්දූ මදාවියන් රැලක් සාසනයේ හිමිකරුවන් ලෙස හුවා දක්වන්නේ සැබෑ ධර්මධාරීන් පුහු ජනප්‍රියත්ව හෝ ලාබ ප්‍රයෝජණ වෙනුවෙන් ධර්මය නොවිකුණන බව දත් හෙයිනි. අද “සිංහල බෞද්ධ” නම් වූ මේ වෙළඳ නාමය සුලබ වෙළඳ සන්නාමයක් වන අතර එහි අතුරු ලාබය එය නිර්මාණය කළ රාජපක්ෂ පවුලේ පරමිපරා ගණනකට වූ දීර්ඝ කාළීණ සුද්ධ ලාබයකි.
මෙය අවබෝධ කර ගත නොහැකි මන්ධ බුද්ධික සිවිල් සමාජය මේ වන විට තවත් තීරණාත්මක කඩ ඉඩමකට පැමිණ ඇත. සමාජය පුරා මුල් බැස ගත් කුහකත්වයත් ම්ලේච්ඡත්වයත් සමාජගත කල කහ රෙද්දකින් වසා තිබනත් ඔද්ධල් වූ සමාජ දේහයේ කුණු සාරය ඒ රෙද්ද අස්සෙන් වැක්කෙරෙනු පෙනේ. පොල් විසි කරන්නාක් මෙන් ගැහැණුන් උස්සා විසිකරණ පොලිසියකුයි ප්‍රසිද්ධියේ මහ පාරේ මිනිසුන් පොලු වලින් ගසා මරා දැමීමට ධෛර්ය දෙන නීති පද්ධතියකුයි අපට පෙන්වන්නේ ඒ ගලන කුණු සාරය නොවෙයිද ?
ඇමෙරිකාවේ දී පාගා මරා දමන කළු මනුස්සයා වෙනුවෙන් ” අනේ අපොයි” යි කියන ඒ “සිංහල බෞද්ධයා” කුණු මාළු කෑල්ලක් මෙන් විසිකරන තම සහොදරියක් මෙන් වූ තරුණිය හෝ මහා පාරේ මරාදමන අසල්වැසියාගේ ඝාතනය සාධාරණීකරණය කිරීමට හේතු සොයා ගනී. අමෙරිකාවේ සුළු ජාතික පීඩණයට එරෙහිව සටන් පාට කියන “සිංහල බෞද්ධ”යා, ඔවුන් සමග ජීවත් වන මුසල්මානුවාට හෝ දමිළයාට එල්ලවන අකටයුතුකම් වලදි මුනිවත රකියි. එහෙත් රාවන පරමිපරාවෙන් නැතිනම් සිංහලේ වලින් එසේත් නැතිනමි දුටුගැමුණුගෙ පවුලෙන් පැවතෙන එවුන් පඳුරක් පඳුරක් ගානෙ දකින්නට ඇත.
උගත් යයි විශ්වාස කරන මිනිසුන් මංදබුද්ධිකයන් සේ හැසිරෙන විට සමාන්‍ය ජනතාව පහසුවෙන්ම කපටින්ගේ ගොදුරු බවට පත්වේ. නීතියේ හැසිරීම හාස්‍ය ජනක බවත් පීඩාවට පත්වන්නාට එයින් ලැබෙන සහනයක් නැති බවත් නොරහසකි.
ලෝක ඉතිහාසයෙන් පාඩම් නොලත් ලංකීය සිවිල් සමාජය හමුදාකරණය වූ පාලන ක්‍රමයකට දොරගුළු හරිමින් සිටින්නේ ඉහත සඳහන් පසුබිම මතය. එය සම්පූර්ණමය හමුදාමය නොවුනත් රාජපක්ශ පවුල විසින් පවත්වාගෙන යනු ලබන ඒ නාමික ප්රජාතන්ත්රවාදය විසින් සැබෑ ප්රජාතන්ත්රවාදයේ සුන්දර මතකයන් සිවිල් සමාජය තුලින් මකා දමනු ඇත. පුජාතන්ත්‍රවාදය යනු රාජපක්ෂ පවුල බව අනාගත පරම්පරාව අදහනු ඇති අතර “ගොනා කන්නේ දිගේලි කර ඇති කඹේ දුරටයි” මෙන් නිදහස කියන්නේ රාජපක්ෂ පවුලේ කමැත්තේ සීමාව බව ඔවුන් විස්වාස කරණු ඇත.
කිසිම සැළසුමි සහගත ස්ථාවර ආර්ථික සංවර්ධණ සැළසුමක් නැති පසු ගිය දසක දෙකම පුරා රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිය වූවේ “එදා වෙිල” විය. කොවිඩ් – 19 ට පෙර ඉන්දියාවෙන් ඩොලර් මිලියන 960 ක් ණයට ගත් අතර චීනයෙන් ඩොලර් බිලියන පහක් ණයට ගත්තේය. මේ අවරුද්දේ රජය බිලියන 2.9 ණයක් ගෙවිය යුත්තේ රුපියලේ විනාකම තවත් අඩුවන පසුබිමක් මතය. එහෙත් මුදල් නාස්තියේ හෝ හොරකමෙි අඩුවක් නැතැයි හැඟෙන්නේ ගල්කිස්සේ වෙරළ දෙස බලන විටය.
මේ පසු බිම මත අගෝස්තු පස් වන දින මහ මැතිවරණය පවත්වනු ඇත. මැතිවරණයට කල් තියා සූදානම් වූ යුධ වීරයා ගෝඨාභය රාජ්‍ය පරිපානයේ අවශ්‍ය තැන්වල හමුදා නිළධාරීන් කල් තියා ස්ථාන ගත කලේය. ඔහු ගේ අරමුණ අයියාගේ ප්‍රධානත්වයෙන් රට පාලනය කරන ආණ්ඩුවක් නොවන අතර එය එක එල්ලේම අයියාගේ පිහිටෙන් මැතිවරණය හරහා පාර්ලිමේන්තුවේ තමාට අවනත තුනෙන් දෙකේ බහුතරය වේ. ඒ හරහා 2015 අප්‍රේල් 28 වන දින ප්රජාතන්ත්රවාදයේ පැවත්ම දකින්නට කැමති ජනතාවගේ අභිප්‍රාය මත ඇති කරන ලද ආණ්ඩක්රම ව්‍යවස්ථාවෙි 19 වන වගන්තිය සංශෝධනය හෝ ඉවත් කිරීමයි.
බුද්ධි හීන ජන කොටස් අද වව්යස්ථාව කන්නදැයි ඇසුවත් ඒ යටතේ සිදු වූ රාජ්‍ය ව්‍යුහයේ වෙනස්කම් ඔවුන්ද බුක්ති විඳින බව නොදනී. එම වෙනස්කම් අනුව ජනාධිපතිවරයාගේ අධිකාරිය විශේෂ කොමිසම් සභා අතර බෙදා හැරිමෙන් ඔහුගේ අත්තනෝමතික හැසිරීම පාලනය කරනු ලබයි. සරලව කියනව නම් “ජේ ආර් ගේ ව්‍යවස්ථාවට කරන්න කරන්න බැරි ගැහැණියෙකු මිනිසෙකු කරන්නයි මිනිසෙකු ගැහැණියෙකු කරන්නයි විතරයි” කියන කියමනේ වලංගු බාවය අහිමි කෙරීය.
සටහන හා ඡායාරූපය – අනුරුද්ධ ලොකුහපුආරච්චි
අපි විනාශයේ අගාධයට යමින් සිටිමු.ලෝකය මානුෂිකත්වය ඉල්ලා සටන් වදිද් දී අපි ම්ලේච්ඡත්වය දෙසට හැරෙමින් සිටිමු.විනාශයක අභිමුව දැන් අප කළ යුත්තේ කුමක්ද? සියලු සටන් දියාරුව ගොස් ය.
Excellent. Please continue Anuruddha.
Epic writing bro…..keep the good work flowing…